ගම්පොළ තරුණියක් දින පහක් තිස්සේ අතුරුදහන්


(සුරංග රාජනායක)

සේවා ස්ථානයට යාම සඳහා නිවසින් පිටත්ව මීටර 100 ගිය  තරුණියක දින පහක් තිස්සේ අතුරුදහන්ව ඇතැයි ගම්පොල පොලිසය පවසයි.

ගම්වැසියන් හා ගම්පොල පොලිසිය ඇය සොයා ගම්පොළ වැලිගල්ල ඇල්පිටිය මහවැලි ගඟ ඉවුර ඇතුළු කැලෑබද ප්‍රදේශවල මෙහෙයුමක් අරඹා තිබේ.

මෙසේ අතුරුදහන්ව ඇත්තේ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි ෆාතිමා මුනවුවරා නමැති තරුණියයි.

ඇය ගෙලිඔය නගරයේ ඖෂධ හලක සේවය කරන බව ඇගේ සොහොයුරා වන මොහොමඩ් ඉම්රාන් පවසයි.

නිවසේ සිට යන අයුරු ඇල්පිටිය පල්ලියේ ඇති සීසීටීවී කැමරාවල ඇගේ රුව අවසන් වරට සටහන් ඇති අතර ඉන් එහා තිබෙන එවැනි කැමරාවල හෝ ඇය දුටු අය මෙතෙක් හමු නොවූ බව මෙම සොහොයුරා පවසයි.

ෆාතිමාගේ මව වන සිත්ති සාහිරා පවසන්නේ ඇය සේවය කරන ස්ථානයට යාම සඳහා පසුගිය ඉරිදා නිවසින් පිටත් වූ බවයි. බස් ගාස්තු ලෙස රුපියල් සියයක මුදලක් පමණක් තමාගෙන් ඉල්ලා ගෙන ඇය ගිය බවත් ඈ තමා හෝ කිසිවෙකු සමග අමනාපයක් නොමැති බවත් මේ මව පවසයි.